සිත මිනිස් ශරීරයේ පවතින ඉන්ද්‍රියක් නො වූවද සිත (මනස) නිර්මාණය වී ඇත්තේ මිනිස් මොළය පදනම් කර ගනිමිනි. මෙහිදී විශේෂ අවධානයට ලක් කළ යුතු කරුණක් තිබේ. එනම්, සිත යනු නාමපදයක් නොවේ. සිත යනු ක්‍රියා පදයකි. මිනිස් මොළයේ පවතින බිලියන ගණනක් වූ නියුරෝන සෛල වල ක්‍රියාකාරීත්වය සිත වේ. එසේම, සිත නිර්මාණය විය හැක්කේ මිනිස් මොළයක් පදනම් කර ගනිමින් පමණි. එසේ වන්නේ ...ඇයි? මිනිසාට මෙන්ම සත්ව ලෝකයේ බොහෝ සතුන්ට මොළයක් තිබුණද මිනිසාට හැර සෙසු කිසිදු සතෙකුට සිතක් හෝ සිතීමේ හැකියාවක් නොමැත. සිතක් හෙවත් සිතීමේ හැකියාවක් මිනිසාට පමණක් හිමි වීමට මොහු තුළ පවතින විශේෂත්වය කුමක්ද?
සත්ව ලෝකයේ සිටින දහස් ගණනක් වූ සත්ත්ව විශේෂ අතුරින් වඩාත් සංවර්ධනය වූ මොළයක් පිහිටා ඇත්තේ මිනිසාට බව මානව විද්‍යාඥයන් විසින් පෙන්වා දී තිබේ. මිනිස් මොළයේ සංවර්ධනය සඳහා බලපෑ ප්‍රධාන සාධකය මිනිසාට අනෙක් සතුන්ට මෙන් නොව නිෂ්පාදන කාර්යාවලියේ යෙදිය හැකි වීම බව මානව විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ. නිෂ්පාදන කාර්යාවලිය සඳහා "ශ්‍රමය" භාවිතා කළ යුතු අතර මිනිසා සෙසු සතුන්ට වඩා උසස් වීමට, සත්ත්ව ලෝකයේ වඩාත් සංවර්ධනය වූ මොළයකට උරුමකම් පෑමට හැකි වූයේ ඔහු තුළ පැවති ශ්‍රම හැකියාවයි. ( වර්තමානයේ ධනපති පන්තිය විසින් මංකොල්ල කන්නේද මිනිසාගේ මෙම ශ්‍රම හැකියාවයි.)
අපේ ආදිතම මුතුන් මිත්තන් සිව්පා සංචරණයක සිට ද්වී පා සංචරණයකට සංක්‍රමණය වීමත්, ඒ හේතුව නිසා ඔවුන්ගේ පූර්ව ගාත්‍රා සංචරණයෙන් නිදහස් වීමත්, එම නිදහස් පූර්ව ගාත්‍රා භාවිතා කරමින් විවිධ නිෂ්පාදන කටයුතු වල යෙදීමට හැකි වීමත්, ආයුධ හා උපකරන නිෂ්පාදනයේ සහ භාවිතයේ යෙදීමත්, නිෂ්පාදන කාර්යාවලිය සඳහා ශ්‍රමය භාවිතා කළ යුතු වීමත් යන සියළුම සාධකයන්ගේ අවසන් ප්‍රතිඵලය ලෙසට අනෙක් සතුන්ට නොමැති අන්දමේ වඩාත් සංවර්ධනය වූ මොළයක් මිනිසාට උරුම විය. සිතීමේ හැකියාව මිනිසාට පමණක් බව පැවසීම තරමක් මතබේදයට ලක් විය හැකි කරුණකි. විවිධ පුද්ගලයෝ සතුන්ට සිතක් හා සිතීමේ හැකියාවක් පවතින බව පවසමින් ස්වකීය මතය සනාථ කිරීම උදෙසා විවිධ තර්ක ගෙන හැර පාති. ඒත් මේ දක්වා සිතන්නට හැකියාවක් ඇති සතෙකු පිළිබඳව පැහැදිලි ලෙසින් කරුණු ඉදිරිපත් වී නොමැත.
මිනිසාට ඉතා සමීප චිම්පන්සීන්, ගෝරිල්ලන් වැනි මානව කල්ප වානරයින් මෙන්ම බල්ලන්, බළලුන්, අලියන්, හරකුන් වැනි මිනිසාගේ ගෘහ ආශ්‍රිත සතුන්ද සමහර විට ඔවුන්ගේ විවිධ ක්‍රියාවන්ගෙන් අප මවිතයට පත් කිරීමට සමත් වී සිටිති. එහෙත් සතුන් එලෙස හැසිරෙන්නේ සිතීම නිසා නොවන බවත් පුරුදු කිරීම හෝ උපස්ථම්භන ලබා දීම නිසා හෝ බවත් ඒ පිළිබඳව කර ඇති පර්යේශන වලින් තහවරු වී තිබේ.
ප්‍රායෝගිකව අපට හමුවන සරල උදාහරන කිහිපයක් සලකා බලමු. අලියෙක් මිනිසාට වඩා දස ගුණයකටත් වඩා විශාල වන අතර මිනිසාට වඩා බොහෝ ශක්තිවන්තද වේ. අලියෙකුගේ එක පහරකින් මිනිසෙකු මරා දැමිය හැකි වේ. සතුන්ට සිතීමේ හැකියාවක් තිබේ නම්, මෙතරම් ශක්තිමත් හස්ති රාජයෙක් මිනිසාට සහ ඔහුගේ හෙන්ඩුවට බිය වී මිනිසා හමුවේ වහලුන් මෙන් කටයුතු කරයිද? අලියාට සිතීමේ හැකියාවක් තිබේ නම් ඔවුන් තමන් මෙහෙයවන මිනිසාට පහර දී තමන්ට හුරු පුරුදු නිදහස් වනාන්තරයට නොගොස් සිටීද? අලි ඇතුන් පමණක් නොව දරුණු ඝනයේ සිංහයින් කොටියන් මී හරකුන් වෘක පවුලේ සාමාජිකයන් ආදී සතුන්ට සිතක් හෝ සිතිමේ හැකියාවක් ඇත්නම් මිනිසුනිට හීලෑ වී මිනිසුන්ගේ හිරිහැර අඩත්තේට්ටම් මැද ජීවත් වේද.?
සතුන් කිසි දිනෙක නිෂ්පාදන කාර්යාවලියේ යෙදී නොසිටි අතර සත්ව ලෝකයේ සිටින සියළුම සතුන් අතුරින් නිෂ්පාදනයේ යෙදෙන එකම සත්ව කොට්ඨාශය මිනිසුන් පමණි. මිනිසුන් සිය අවශ්‍යතාවයන් නිෂ්පාදනය කර ගන්නේත්, සතුන් නිෂ්පාදන ක්‍රියාවලියක නොයෙදෙන්නේත්, මිනිසාට සිතීමේ හැකියාවක් ඇති නිසාත්, සතුන්ට සිතීමේ හැකියාවක් නොමැති නිසාත් වේ.
බොහෝ මාංශ භක්ෂක සත්තු දඩයම් කර ගනිමින් සිය ආහාර අවශ්‍යතාවය සපුරා ගනිති. වඩු කුරුල්ලන් වැනි පක්ෂීහු ඉතා අලංකාර අන්දමින් සිය නිවාස තනා ගනිති. එහෙත් මේ දෑ කිසිසේත් "නිෂ්පාදන" නොවේ. මක්නිසාද වඩු කුරුල්ලන්ගේ කූඩු පරම්පරා ගනනාවක් තිස්සේ වෙනස් වී නොමැත. ඔවුන් හැමදාමත් කූඩු සැදුවේ එකම ආකාරයටය. සර්පයින් ඔවුන්ගේ බිත්තර හා පැටවුන් ගිල දැමුවද සිය කූඩු නිර්මාණය වෙනස් කර ගැනීමට වඩු කුරුල්ලන් සමත් වී නැත. සිංහයින්, කොටියන් වැනි සතුන් දඩයම් කර ගැනීමෙන් සිය ආහාර අවශ්‍යතාවය සපුරා ගන්නා අතර දඩයම් නොමැතිව ඔවුන් නිරාහාරව මියගිය අවස්ථාද එමට තිබේ. පරම්පරා ගණනාවක් තිසිසේ ඔවුන්ගේ මුතුන් මිත්තන් නිරාහාරව මිය ගියද ආහාර සපයා ගැනීමේ ක්‍රම වල වෙනසක් සිදු කර ගැනීමට ඔවුන්ට හැකි වී නොමැත. මෙසේ සිදු වන්නේ සතුන් පරිසරයෙන් සිය අවශ්‍යතාවයන් සපුරා ගන්නවා මිස පරිසරය වෙනස් කරමින් නිෂ්පාදනයේ නොයෙදීම හේතුවයි.
එහෙත්, ආරම්භයේදී අව්වට වැස්සට කිසිදු ආවරණයක් නොතිබූ, කුසගින්නෙන් සීතලෙන් සහ බියෙන් පීඩා වින්දා වූ මිනිසා අද අභ්‍යවකාශය සිය වාසස්ථානය බවට පත්කර ගන්නට උත්සාහ කරමින් සිටී. වානරයාගෙන් පරිනාමය වූ දා සිට මේ දක්වා මිනිසා වසර දස දහස් ගණනක් ගෙවා ඇති අතරම ඊට සාපේක්ෂව ඔහු විසින් දැවැන්ත ජයග්‍රහන රාශියක්ද අත්පත් කර ගෙන තිබේ. ආරම්භයේදී සිටි මිනිසාට වඩා අද සිටින මිනිසාගේ තත්ත්වය කෙතරම් වෙනස් දැයි අවබෝධ කරගැනීම එතරම් අපහසු කාරනයක් නොවේ. මිනිසා මේ සා දැවැන්ත ජයග්‍රහණ රාශියක් අත්පත් කර ගැනීමට සමත් වූයේ ඔහු ශ්‍රමය වගුරවමින් නිශ්පාදන කාර්යයේ යෙදීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මොළය වඩාත් සංවර්ධනය වූ අතර සිතීමේ හැකියාවද මිනිසා තුළ පහල විය. සත්‍ය වශයෙන්ම සිතීමේ පදනම ශ්‍රමයයි.
සත්ත්ව ලෝකයේ සිටින දහස් ගණන් වූ සත්ත්ව විශේෂ අතුරින් මිනිසාට පමණක් විශේෂිත වූ මෙම සිත හෙවත් මනස පවතින්නේ කොතැනද යන්න වටහා ගැනීමට දැන් උත්සාහ කරමු. පෙරදී සඳහන් කළ පරිදි මනස ඇති වන්නේ මිනිස් මොළය පදනම් කර ගනිමිනි. මොළයේ පවතින්නා වූ නියුරෝන සෛල කෝටි ගණනාවක් යම් කිසි නිශ්චිත පිළිවෙලකට සකස්වීම නිසා ඇති වන බලවේගය සිත නමින් හැදින් වේ. මෙය සරල උදාහරනයක් මගින් වටහා ගැනීමට උත්සාහ කරමු. මෝටර් රථයක් යනු ඇංජිම, බැටරිය, රෝද, සුක්කානම ආදී කොටස් වලින් සමත්විත උපකරනයක් වේ. මෝටර් රථයක වැදගත්ම ගුණාංගය වන්නේ ඊට ගමන් කිරීමේ හැකියාවක් පැවතීමයි. මෙම ගමන් කිරීමේ හැකියාව මෝටර් රථයට පිටතින් පවතින්නක් නොවන අතර එය මෝටර් රථය අභ්‍යයන්තරයේම පවතින්නකි. මෝටර් රථයේ ඇංජිම සෑදී ඇති කොටස් සහ සෙසු කොටස් නියම්ත පරිදි සකස් කිරීම තුළ ඊට "ගමන් කිරීමේ හැකියාව" ලැබෙන බව අපි දනිමු. මිනිස් මොළයේ ස්වභාවයද මීට සමාන වේ. මිනිස් මොළයේ පිහිටි කෝටි සංඛ්‍යාත නියුරෝන සෛල කිසියම් නිශ්චිත පිළිවෙලකට සකස් වීම නිසා මිනිස් මොළය පදනම් කර ගනිමින් සිත හෙවත් සිතීමේ හැකියාව නිර්මාණය වී තිබේ.
සිත යනු මිනිසාට පරිභාහිරව පවතින්නක් නොවන අතර, මිනිස් මොළය පදනම් කරගනිමින් ඇතිවන බලවේගයක් වේ. මෝටර් රථයක ඇංජිම විනාශ වීමෙන් එහි ගමන් කිරීමේ හැකියාව අහෝසි වන්නාක් සේ, මිනිස් මොළයට හානි සිදුවීමෙන් සිතීමේ හැකියාව හා සම්බන්ධ ගැටළු ඇති වේ.
මෝටර් රථයක් යළි භාවිතයට ගැනීමට නොහැකි ලෙසින් විනාශ වී ගිය කළ එහි තිබූ ගමන් කිරීමේ බලයද ඒ සමඟම අහෝසි වී යන අතර එම බලය කිසි ලෙසකින් වත් වෙනත් මෝටර් රථයකට ඇතුළු නොවේ. වෙනත් මෝටර් රථයක ඇත්තේ වෙනත් ගමන් කිරීමේ බලයකි. මිනිස් සිතද මේ හා සමානය. නැවත ප්‍රකෘතිමත් කළ නොහැකි ලෙසින් මිනිස් මොළය අක්‍රීය වූ විට (එනම් මිනිසෙකු මිය ගිය විට) මිනිස් මොළය පදනම් කරගනිමින් නිර්මාණය වූ සිත හෙවත් සිතීමේ හැකියාවද අහෝසි වේ. එය වෙනත් ශරීරයකට (හෝ කළලයකට) ආරෝපණය වීමක් හෝ විශ්වයේ සැරි සැරීමක් හෝ සිදු නොවේ. පැහැදිලි ලෙසම, මිනිස් මොළය මිය ගිය විට සිත නමින් බලයක් තව දුරටත් ඉතිරි නොවන අතර මිනිස් මොළය පදනම් කර ගනිමින් නිර්මාණය වූ සිත මිනිස් මොළය අක්‍රීය වීමත් සමගින් අහෝසි වී යනු ලැබේ.